Home POLITICS මියගිය දේහ බහාලීමේ උර ගෙන්වීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පැහැදිලි කිරීමක්

මියගිය දේහ බහාලීමේ උර ගෙන්වීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පැහැදිලි කිරීමක්

40
0

(කොළඹ, ලංකාපුවත්) –පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර යනු කොවිඩ්-19 රෝගය සඳහාම නිර්මාණය වු දෙයක් නොව ජාත්‍යාන්තර වශයෙන් මෙය බොහෝ කාලයක සිට පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර තොගයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළ වන වාර්තාවක් පිළිබඳව පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශය ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ශරීර බෑග් ඉල්ලීම සාමාන්‍ය ඉල්ලීමක් පමණකි.

වෛද්‍ය ජසිංහ මහතා කියා සිටියේ මෙම ඉල්ලීම කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන මරණ විශාල සංඛ්‍යාවක් අපේක්ෂා නොකරන බවයි.

උදාහරණයක් ලෙස ආපදා අවස්ථාවල දී මෙම පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර නැතිනම් බොඩි බෑග් භාවිත කරන බවත් පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයේ දී මළ සිරුරු බහාලීමට ද මෙම උර භාවිත කළ බවත් ඒ මහතා පැහැදිලි කළේය.

එනිසා ඕනෑම අවස්ථාවක් සඳහා සූදානම අවශ්‍ය බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව එම ගබඩා මට්ටම් පවත්වාගෙන යා යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

එසේම ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සාර්ථක මෙහෙයුම් දියත් කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.